ජීවිතයේ එක ම අරමුණ

Filed under: , by: ක්‍රිෂාන් රංදික ජයකොඩි



සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගී නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුල ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද ?

ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නොපුළුවන. මන්ද, ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක්කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දකින්නේ ය.


දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.


ශුද්ධවර මතෙව් 6.22-24

ප්‍රේම පාරමිතාව

Filed under: by: ක්‍රිෂාන් රංදික ජයකොඩි


මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂා වලින් කතා කරතත්
ප්‍රේමය මට නැත් නම්
මම ඝෝෂා කරන ඝන්ඨාරයකට හෝ
කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුනත්,
සියළු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්,
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුනත්
ප්‍රේමය මට නැත් නම්

මම හිස් තැනැත්තෙක්මි.
දන් දීම සඳහා මා සතු සියල්ලම වෙන් කළත්,
මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්,
ප්‍රේමය මට නැත් නම්

මට කිසි පලක් නැත.
ප්‍රේමය,
ඉවසිලිවන්තය,

කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත,
පාරට්ටු කර ගන්නේ නැත,
උඩඟු වන්නේ නැත;
ප්‍රේමය,
අවනීත නොවේ,
ආත්මාර්ථකාමී නොවේ,
හනික නොකිපේ,
නපුර සිතේ ධාරණය කර නොගනී;
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනික ය.
දිවැස් වැකි වුවද පහව යන්නේ ය;
විවිද ශබ්ද දෙසීම් වුවද නිම වන්නේ ය;
ඥානය වුව ද නැති වන්නේ ය.
මන්ද,
අපේ ඥානය අසම්පූර්ණ ය,
දිවැස් වැකි දෙසීමද අසම්පූර්ණ ය.
සම්පූර්ණ දේ පැමිණි විට,
අසම්පූර්ණ දේ පහව යන්නේ ය.